Thursday, January 26, 2012

"කොරේ පිටට මරේ"


මේ සිදුවීම වුනේ හරියටම ගිය ඉරිදා..ඒ කියන්නෙ 22 දා. මම ඉරිදට කොලොම්පුරේ එනව පොඩි ඩිප්ලෝමාවක් කරන්න. පංති ඉවරවෙලා අපි සෙට් එක පොඩි කයියක් දාගෙන ඉන්නකොට අපේ අම්මගෙන් ඇමතුමක් ආව. 

" අනේ පුතේ බලන්නකො වෙලා තියෙන දේ නංගි බස් එකෙන් බහිද්දි නංගිගෙ පර්ස් එකට විදලනෙ. ID එකයි බැංකු කාර්ඩ් එකයි ඔක්කොම අරගෙන. පුතා පොඩ්ඩක් ගිහිල්ල බලන්නකො."

අම්මත් නිකන් අඬන්න වගේ ඒක කිව්වෙ. අපේ නංගි ඉගෙන ගන්නෙ බෙලිහුල් ඔය කම්පස් එකේ. හැම ඉරිදම කැම්පස් ඉඳල කොලොම්පුරේ එනව ජපන් පංතියකට. තනියම නෙවෙයි තව යාලුවො 2ත් එනව. මට පංති ඉවර වුනේ 12.30ට නංගිට පංති පටන් ගන්නෙ 1ට. 

මම ඒ වෙලාවෙම නංගිට කෝල් එකක් ගත්ත. ඒකිත් "අනේ අයියෙ..." කිව්ව විතරයි අඬන්න ගත්ත. මම ඉතින් පුලුවන් විදියට හිත හදල පංතියට යන්න කිව්ව.මම අපේ උන් සෙට් එකට වෙලා තියෙන දේ කිව්ව.

මොන දේ වුනත් ඕන වෙලාවක උදව්වට එන සෙට් එකක් හිටිය නිසා උනුත් පැනපු ගමන් මාත් එක්ක යන්න එන්නම් කිව්ව. එහෙම කිව්ව එකේ ප්‍රධාන අරමුණ තමයි අපේ නංගිගෙ යාලුවො බලාගැනීම.හිකිස්. 

උන්ගෙත් මල කරදරේ.. "මචන් නංගිගෙ යාලුවො ලස්සනද බං?...... බැරි වේවිද බං කෑල්ලක් සෙට් කරගන්න?.." ඔලුව ගිනි අරන් ඉන්න වෙලාවෙ උනුත් අනේක විද ප්‍රශ්න අහනව.

මට මල පනල බැරිම තැන.. "සෙට් කර ගන්න බැරි නම් ඕන හු***** කරගනින්....." කිව්වම කටවල් ටික වැහුන. "හරි හරි බං විහිලුවට කිව්වෙ...." කියල අන්තිමට එකෙක් කිව්ව. පස්සෙ ඉතින් මට දුකත් හිතුන මොනා වුනත් උන් ඕන දේකට එන උන්නෙ. 

කොහෙද කතාවෙන් පිට යනවනෙ...කොහොම හරි පංති ඉවර වෙද්දි අපි එතනට ගිහින් හිටියෙ. එක එක වාහන වලින් බැහැල කෙල්ලො යනව දැක්කම අපිට මොනා හිතුනද මන්ද...ඔව් ඔව් ඔයාල හිතන ඒව තමයි....හිකිස්. ඔන්න අපේ එකත් පංති ඉවර වෙලා මට කෝල් එකක් අරගෙන අපි ඉන්න දිහාවට ආව. 

ඔය අතරෙ අපේ තාත්ත කෝල් එකක් අරන් කියපි "පුතේ නංගිගෙ ID එක ඉක්මනට ගන්න ඕන නිසා පොලීසියට ගිහින් පැමිනිල්ලක් දාන්න" කියල. දැන් ඉතින් පලයන්කො පොලීසි වෙලාවට නංගි එක්ක පංති එන යාලුවෙක්ගෙ මාම කෙනෙක් ඉන්නව කියපු නිසා මාත් අවුලක් නැතුව ගියා.

කොහොමහරි අපේ උන් එක්ක ගිහින් ඒ වැඩ ටික කර ගන්න සිද්ද වුනා. පැමිනිල්ල ලියන්න ගිහින් තමයි ඊට වඩා මල පැන්නෙ. නංගිල පංති ඉවර වෙලා අපහු කැම්පස් යන්නත් ඕන. එතන හිටිය පොලිස් බාප්පල 2ට ගානක් වත් නෑ. බැරිම තැන මම කිව්ව පොඩ්ඩක් ඉක්මන් කරන්න නංගිල ගොඩක් දුර යන ඕන කියල. ඊට පස්සෙ තමයි උන් 2න ඒ වැඩේ කරල දුන්නෙ. 

අර අංකල් කතා කරල වැඩේ ඉක්මනට කරල දෙන්න කියල කිව්වෙ මම ඒ ටික කිව්වට පස්සෙ. එදා අපේ වෙලාවටම ඒ අංකලුත් නිවාඩු. පස්සෙ මුන් පැමිනිල්ල ලියන අතරෙ ඒකට දාන්න අපේ නංගිගෙන් ෆෝන් නම්බර් එකත් ඉල්ලුව. ඒක ඉල්ලද්දි එකෙක්ට ලාවට හිනා යනව මම දැක්ක.මම පැනපු ගමන් උන්ට ලියන්න අපේ තාත්තගෙ නම්බර් එක දුන්න.

කොහොම හරි ටික වෙලාවකින් අර අංකල්ගෙ ගෝලයෙක් ආව එතනට ඇවිල්ල ඒ වැඩ ටික ඉක්මනට කරල දුන්න. එදා මම මාස 2ක බෝඩිම් ගාස්තු ගෙනල්ල තිබ්බ වෙලාවට ඒ ටිකත් නංගිගෙ අතට දීල මම එයාව පිටත් කරා. මම දැක්ක ඒ වෙලාවෙ ඒකිගෙ ඇස් 2ට යන්තම් කදුලු උනනව. 

කොහොම හරි ඒ වැඩ ටික ඉවර කරගෙන පිටත් වෙද්දි ඇඳිරි වැටීගෙන එනව. අපි ටික පොලීසියෙ කාර්යක්ෂමතාවයට පින් දිදී ආව.ඒ අතරෙ  අපේ උන් අර නංගිල 2 එක්ක හොඳට කයියක් දාල. එකෙක් නංගි කෙනෙක් අතේ තිබ්බ පටියකටත් වැඩේ දීල.හිකිස්. 



මම මේක ඇත්තටම ලියන්න හිතුවෙ වැදගත් දෙයක් වේවි කියල හිතලයි.මොකද පිරිමි කෙනෙක් ඔය වගේ තත්වෙකට මූණ දෙන්න වෙනවට වඩා ගැහැනු කෙනෙක් මූණ දෙන්න ගියාම ගොඩක් අසරණ වෙනව.පර්ස් එකේ ඔක්කොම දේවල් දානවට වඩා එක එක තැන් වල සල්ලි දාගෙන තිබ්බ නම් ඕකෙන් බේරිලා ඉන්න තිබ්බ. ඒ වගේම කොළඹ බස් වල යද්දි සිහි කල්පනාවත් බොහොම වැදගත් කියල තමයි හිතෙන්නෙ. 


මේ වගේ අත්දැකීම් වෙලා තියෙනව නම් ලියමු බලන්න එහෙනම්.

Thursday, January 19, 2012

දු..දු..දු..දු..දු..දු..දුලීකා......


ඔන්න අද ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච රසවත් සිදුවීමක් ලියන්න ඕන කියල හිතුන. හිතහොඳ පිස්ස ගියේ ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙටනෙ ගාල්ලෙ අය නම් දන්නවත් ඇති.

මේ සිද්ධිය වුනේ OL කරන කාලෙ හරියටම කිව්වොත් OL විභාගයෙ සෞන්දර්ය විශය තිබ්බ දවසෙ. අපේ පංතියෙ මුස්ලිම් බුවෙක් හිටිය පොර ටිකක් ගොත ගහනව. ඉතින් මෑන් කතා කරන්න ගියාම රස සාගරෙ. පොර නිසා තමයි මේක වුනේ. 

හිතහොඳ පිස්ස තෝර ගත්ත සෞන්දර්ය විශය තමයි පෙරදිග සංගීතය. ඒක ඉතින් තෝර ගන්න හේතු තිබ්බ.

1. මට නටන්න තේරෙන්නෙ නෑ

2. චිත්‍ර අඳින්නත් බෑ

3. බටහිර සංගීතයෙ තිබ්බ ඉංග්‍රීසි කෑලි මට දිරෙව්වෙ නෑ


අපිට විභාගෙ ඉවර වෙලා ඉස්කෝලෙ පහල තිබ්බ ප්‍රාථමික අංශය ගාවට ආව. එතන සිමෙන්ති බංකු එහෙම තියෙනව වාඩි වෙන්න. අපි ඉතින්  ඔතනට ඇවිල්ල පොඩි වාඩියක් දැම්ම. 

අපේ ඉස්කෝලෙ අතුලෙන් තව ගැහැණු දැරිවියොන්ගෙ ඉස්කෝලෙකට යන්නත් පුලුවන්.හැබැයි ඒක නෙවෙයි අපේ girl school එක. අපේ girl school එක මොකක්ද කියල වවුල් බංගලාවල උදවිය දන්නව. හිකිස්. දැන් වෙන කට්ටිය බලයි ඒ මොකක්ද කියල. ඒක ගාල්ලෙ පොඩි සීන් එකක්. 

ඉතින් අපි වාඩි වෙලා හිටපු තැනින් තමයි අර ගැණු ලමයින්ට යන්නත් පාර වටිල තියෙන්නෙ. කට්ටියට කියන්න ඕන නැනෙ අපි එතන වාඩි වෙන්න හේතුව. අපි එක්ක අර මං මුලින් කියපු ගොත ගහන මුස්ලිම් බුවත් හිටිය. අපේ එකෙක් ඈත එන කෙල්ලෙක් පෙන්නල කිව්ව

" මචං අර එන කෙල්ලගෙ නම දුලීකා ඒකි ගැන මගේ හිතේ පොඩි ටින් ටින් එකක් තියෙනව." කියල. 

අපිත් ඉතින් පැනපු ගමන් බලපි කෙල්ල දිහා වරදක් කියන්න නෑ හරි හුරු බුහුටි කෙල්ල. දැන් චුට්ට චුට්ට කෙල්ල තව යාලුවො දෙන්නෙක් එක්ක අපි ඉන්න පැත්තට එනව. 

අපේ එකත් ඉතින් කොන්ඩෙ එහෙම හදල ඉන්න තැනින් නැඟිටල ඉස්සරහට ගියා. කෙල්ල එතනින් යද්දිම අපේ මුස්ලිම් බුවා සින්දුවක් පටන් ගත්ත කියපන්කො. මෙන්න උගේ සින්දුව.

ආදර මල් පවනේ.............
ඈ යන මේ ගමනේ..........
කොහෙදෝ යන්නේ.......
කව්දෝ දන්නේ..............
දු..දු..දු..දු..දු..දු..දුලීකා.......

ඉතින් සින්දුවෙ දුලීකා කියද්දි අර කෙල්ලො ටික හිනා වෙවී දුවල ඉවරයි. ඉතින් අර ට්‍රයි කරපු කොල්ල අරූට කියපු ඒව හිතා ගන්න පුලුවන්නෙ.