Monday, April 9, 2012

මවගේ ජීවිතය බේරගන්න දිරිය පුතෙක් කළ සටනක්...........






අම්මේ හෙන කාලෙකට පස්සෙ තමයි මේ පැත්තෙ කරක් ගහන්න ආවෙ. බ්ලොග් අවකාශෙ හැමෝම සනීපෙන් ඉන්නව කියල හිතනව.පිස්සට මේ පැත්තෙ එන්න බැරි වුනේ පිස්ස ඇගයීම් වගයකට හිර වෙලා හිටිය නිසයි. ඇගයීම් 9ක් හදන්න තිබ්බ ඒ නිසා අලුත් පෝස්ට් එකක් ලියන්න වෙලාවක් ලැබුනෙ නෑ.ඒ ගැන කට්ටියගෙන්ම සමාව ඉල්ලනව.


දැන් 22 කට්ටියම වැඩේට ලෑස්තියිනෙ? එකී මෙකී නොකී සියල්ලම මුණහැහිල විනෝද වෙමු කට්ටියම එදාට. කට්ටිය බලාවි මේ යකා මේ මඟුලක් කතා කරනව මේ කතාව ලියන්නෙ නැතුව කියල.මොකද අප්ප ඔච්චර හදිස්සි පොඩ්ඩක් ඉවසල ඉන්න....:). 


ගොඩක් දවසට පිස්සලගෙ අම්ම වැඩ ඇරිල එනකොට උණු උණු ආප්ප ගේනවනෙ.ඉතින් ඒ ගේන උණු ආප්ප එක්ක ප්ලේන්ටියකුත් බොන ගමන් පිස්ස අම්ම එක්ක පොඩි කයියකුත් දානව.ආ කියන්න බැරි වුනානෙ පිස්සලගෙ අම්ම වැඩ කරන්නෙ කරාපිටිය ඉස්පිරිතාලෙ.දැන් මේ කියන්න යන කතන්දරේ සිද්ධ වෙලා තියෙන්නෙ අපේ අම්මලගෙ වාට්ටුවෙ.


අම්මලගෙ වාට්ටුවෙ ඉඳල තියෙනව වයසක ආච්චි කෙනෙක් අවුරුදු 75ක් විතර කෙනෙක්. මේ ආච්චිට ඇති වෙච්ච ස්නායු ආබාධයක් නිසා තමයි වාට්ටුවට ඇතුල් කරල තියෙන්නෙ.මේ ආච්චි දරුවො 7ගෙ අම්ම කෙනෙක්.ගැහැණු දරුවො 4යි, පිරිමි දරුවො 3යි තමයි ඉඳල තියෙන්නෙ.ඉතින් මේ කට්ටියගෙන් 6ක්ම කසාඳ බැඳල අන්තිම පිරිමි දරුව විතරයි නොබැදපු කෙනෙකුට ඉඳල තියෙන්නෙ.


ඉතින් අපේ අම්ම කිව්ව විදියට බාලම පිරිමි දරුව එක්ක ඒ ආච්චිගෙ පුදුම බැඳීමක් තිබිල තියෙනව.ඒ පිරිමි කෙනත් අවුරුදු 28ක විතර තරුණයෙක්ලු.ලෙඩ ඇඳේ හිටපු අම්මව බලන්න හැමදාම ඇවිල්ල තියෙන්නෙත් ඒ තරුණයම තමයි.එයා බොහොම සුළු ව්‍යාපාර තමයි කරල තියෙන්නෙ.මේ සිද්ධිය වෙද්දි ඔරලෝසු ව්‍යාපාරයක් තමයි කරල තියෙන්නෙ.


අනික් අය මේ තරුණයට වඩා හොඳ රැකියාවල් වල නිරත වෙලා තියෙනව. ඒ වැඩ ඔක්කොම නතර කරල තමයි මේ තරුණය අම්මව බලාගෙන තියෙන්නෙ.ගොඩක් දවසට මේ තරුණය ඒ ආච්චිගෙ ඇඳ ගාව ඉඳගෙන ඒ ළඟ තියෙන තිර රෙද්දෙන් වහගෙන ඒ ආච්චිව පිරිසිදු කිරීමෙ කටයුතු කරනවලු.මේ කටයුතු ඔක්කොම ඉවර කරන්න පැයකට ආසන්න වෙලාවක් යනවලු. 


ඒ කටයුතු අවසානයෙදි ඒ තරුණය දාඩිය පෙරාගෙන එළියට ඇවිල්ල ඉන්නවලු.කොහොමහරි මේ සිදුවීම්  වාට්ටුවෙ රාජකාරි කරන ප්‍රධාන වෛද්‍යතුමා ඇතුලු කාර්ය මණ්ඩලේ හැමෝගෙම අවදානය යොමු වෙච්ච කාරනාවක් වෙලා තියෙනව.ඉතින් ඔය ආච්චිට බේත් දෙන්න එහෙම ගියාම ඒ ආච්චි අර පුතාගෙ හොඳ කියනවලු.


"අනේ මිසී මගේ බාල දරුව නිසා තමයි මං මෙච්චර කල් හරි ජීවත් වුනේ.ලබන ආත්මෙත් මගේම පුතෙක් වෙලා උපදින්න ඕන.." කියල දවසක් මේ ආච්ච් අපේ අම්ම එක්ක කියල තියෙනව. කොහොමහරි එක දවසක්  දවල් ලෙඩ්ඩු බලන වෙලාවෙදි මේ ආච්චිට ගොඩක් අමාරු වෙලා.ඒ වෙලාවෙ අර තරුණයගෙ එක් සහෝදරියකුයි සහෝදරයො 2යි ඒ ආච්චි ගාව ඉඳල තියෙනව.


ඒ තරුණය ඒ වෙලාවෙ ඒ ආච්චි ගාව ඉඳල නෑ.කොහොමහරි කෝල් එකක් දීල විනාඩි 15ට විතර පස්සෙ ඒ තරුණයත් එතනට ඇවිල්ල තියෙනව. අම්ම ඉන්න තත්වෙ දැක්ක ගමන් ඒ තරුණය "අනේ මගේ අම්මේ......"කියල කෑගහගෙන ගිහින් ඒ ආච්චිව බදාගෙන මහ හයියෙන් අඬල තියෙනව.


ඒ සිදුවීම ඒ අවට හිටපු හැමෝගෙම නෙතට කදුළු උනන සිදුවීමක් වෙලා තියෙනව.කොහොමහරි ඒ වෙලාවෙ රාජකාරි කරපු වෛද්‍යවරය මේ තරුණයව පැත්තකට එක්කගෙන ගිහින් හයියෙන් අඬන එකෙන් අම්මගෙ දුක තවත් වැඩි වේවි කියල පැහැදිලි කරල. මේ තරුණය එකපාරටම හයියෙන් හුස්මක් උඩට අරගෙන අඬන එක නවත්තගෙන තියෙනව. 


හාමුදුරු නමක් වඩම්මවල අවසාන මොහොතෙදි අම්මට ඇහෙන්න පිරිත් ටිකක් අහන්න සලස්වන්න කියල වෛද්‍යවරය අර තරුණයට කියල. ඒක කියපු ගමන් අර තරුණය වාට්ටුවෙන් නික්මිලා විනාඩි 20ට විතර පස්සෙ හාමුදුරු දෙනමක් වඩම්මල ඒ ආච්චිට ඇහෙන්න පිරිත් කියල. පිරිත් අහන ගමන්ම ඒ ආච්චි අවසන් හුස්ම හෙලල තියෙනව.


තමන්ගෙ අම්මට මෙහෙම සලකපු දරුවෙක්ට ඒ පින හොඳටම ඇති කියල තමයි පිස්සට නම් හිතුනෙ. වර්තමාන සමාජයෙ බොහොම කලාතුරකින් අහන්න ලැබෙන සිදුවීමක් නිසා තමයි පිස්සට මේක දාන්න හිතුනෙ.ඔය කතාව අම්ම කියද්දි පිස්සට අතුරු ප්‍රශ්න ආව ඒව මේකෙ දැම්මෙ නෑ.එහෙනම් අලුත් පෝස්ට් එකකින් අපි ආපහු මුණගැහෙමු.