Monday, April 9, 2012

මවගේ ජීවිතය බේරගන්න දිරිය පුතෙක් කළ සටනක්...........






අම්මේ හෙන කාලෙකට පස්සෙ තමයි මේ පැත්තෙ කරක් ගහන්න ආවෙ. බ්ලොග් අවකාශෙ හැමෝම සනීපෙන් ඉන්නව කියල හිතනව.පිස්සට මේ පැත්තෙ එන්න බැරි වුනේ පිස්ස ඇගයීම් වගයකට හිර වෙලා හිටිය නිසයි. ඇගයීම් 9ක් හදන්න තිබ්බ ඒ නිසා අලුත් පෝස්ට් එකක් ලියන්න වෙලාවක් ලැබුනෙ නෑ.ඒ ගැන කට්ටියගෙන්ම සමාව ඉල්ලනව.


දැන් 22 කට්ටියම වැඩේට ලෑස්තියිනෙ? එකී මෙකී නොකී සියල්ලම මුණහැහිල විනෝද වෙමු කට්ටියම එදාට. කට්ටිය බලාවි මේ යකා මේ මඟුලක් කතා කරනව මේ කතාව ලියන්නෙ නැතුව කියල.මොකද අප්ප ඔච්චර හදිස්සි පොඩ්ඩක් ඉවසල ඉන්න....:). 


ගොඩක් දවසට පිස්සලගෙ අම්ම වැඩ ඇරිල එනකොට උණු උණු ආප්ප ගේනවනෙ.ඉතින් ඒ ගේන උණු ආප්ප එක්ක ප්ලේන්ටියකුත් බොන ගමන් පිස්ස අම්ම එක්ක පොඩි කයියකුත් දානව.ආ කියන්න බැරි වුනානෙ පිස්සලගෙ අම්ම වැඩ කරන්නෙ කරාපිටිය ඉස්පිරිතාලෙ.දැන් මේ කියන්න යන කතන්දරේ සිද්ධ වෙලා තියෙන්නෙ අපේ අම්මලගෙ වාට්ටුවෙ.


අම්මලගෙ වාට්ටුවෙ ඉඳල තියෙනව වයසක ආච්චි කෙනෙක් අවුරුදු 75ක් විතර කෙනෙක්. මේ ආච්චිට ඇති වෙච්ච ස්නායු ආබාධයක් නිසා තමයි වාට්ටුවට ඇතුල් කරල තියෙන්නෙ.මේ ආච්චි දරුවො 7ගෙ අම්ම කෙනෙක්.ගැහැණු දරුවො 4යි, පිරිමි දරුවො 3යි තමයි ඉඳල තියෙන්නෙ.ඉතින් මේ කට්ටියගෙන් 6ක්ම කසාඳ බැඳල අන්තිම පිරිමි දරුව විතරයි නොබැදපු කෙනෙකුට ඉඳල තියෙන්නෙ.


ඉතින් අපේ අම්ම කිව්ව විදියට බාලම පිරිමි දරුව එක්ක ඒ ආච්චිගෙ පුදුම බැඳීමක් තිබිල තියෙනව.ඒ පිරිමි කෙනත් අවුරුදු 28ක විතර තරුණයෙක්ලු.ලෙඩ ඇඳේ හිටපු අම්මව බලන්න හැමදාම ඇවිල්ල තියෙන්නෙත් ඒ තරුණයම තමයි.එයා බොහොම සුළු ව්‍යාපාර තමයි කරල තියෙන්නෙ.මේ සිද්ධිය වෙද්දි ඔරලෝසු ව්‍යාපාරයක් තමයි කරල තියෙන්නෙ.


අනික් අය මේ තරුණයට වඩා හොඳ රැකියාවල් වල නිරත වෙලා තියෙනව. ඒ වැඩ ඔක්කොම නතර කරල තමයි මේ තරුණය අම්මව බලාගෙන තියෙන්නෙ.ගොඩක් දවසට මේ තරුණය ඒ ආච්චිගෙ ඇඳ ගාව ඉඳගෙන ඒ ළඟ තියෙන තිර රෙද්දෙන් වහගෙන ඒ ආච්චිව පිරිසිදු කිරීමෙ කටයුතු කරනවලු.මේ කටයුතු ඔක්කොම ඉවර කරන්න පැයකට ආසන්න වෙලාවක් යනවලු. 


ඒ කටයුතු අවසානයෙදි ඒ තරුණය දාඩිය පෙරාගෙන එළියට ඇවිල්ල ඉන්නවලු.කොහොමහරි මේ සිදුවීම්  වාට්ටුවෙ රාජකාරි කරන ප්‍රධාන වෛද්‍යතුමා ඇතුලු කාර්ය මණ්ඩලේ හැමෝගෙම අවදානය යොමු වෙච්ච කාරනාවක් වෙලා තියෙනව.ඉතින් ඔය ආච්චිට බේත් දෙන්න එහෙම ගියාම ඒ ආච්චි අර පුතාගෙ හොඳ කියනවලු.


"අනේ මිසී මගේ බාල දරුව නිසා තමයි මං මෙච්චර කල් හරි ජීවත් වුනේ.ලබන ආත්මෙත් මගේම පුතෙක් වෙලා උපදින්න ඕන.." කියල දවසක් මේ ආච්ච් අපේ අම්ම එක්ක කියල තියෙනව. කොහොමහරි එක දවසක්  දවල් ලෙඩ්ඩු බලන වෙලාවෙදි මේ ආච්චිට ගොඩක් අමාරු වෙලා.ඒ වෙලාවෙ අර තරුණයගෙ එක් සහෝදරියකුයි සහෝදරයො 2යි ඒ ආච්චි ගාව ඉඳල තියෙනව.


ඒ තරුණය ඒ වෙලාවෙ ඒ ආච්චි ගාව ඉඳල නෑ.කොහොමහරි කෝල් එකක් දීල විනාඩි 15ට විතර පස්සෙ ඒ තරුණයත් එතනට ඇවිල්ල තියෙනව. අම්ම ඉන්න තත්වෙ දැක්ක ගමන් ඒ තරුණය "අනේ මගේ අම්මේ......"කියල කෑගහගෙන ගිහින් ඒ ආච්චිව බදාගෙන මහ හයියෙන් අඬල තියෙනව.


ඒ සිදුවීම ඒ අවට හිටපු හැමෝගෙම නෙතට කදුළු උනන සිදුවීමක් වෙලා තියෙනව.කොහොමහරි ඒ වෙලාවෙ රාජකාරි කරපු වෛද්‍යවරය මේ තරුණයව පැත්තකට එක්කගෙන ගිහින් හයියෙන් අඬන එකෙන් අම්මගෙ දුක තවත් වැඩි වේවි කියල පැහැදිලි කරල. මේ තරුණය එකපාරටම හයියෙන් හුස්මක් උඩට අරගෙන අඬන එක නවත්තගෙන තියෙනව. 


හාමුදුරු නමක් වඩම්මවල අවසාන මොහොතෙදි අම්මට ඇහෙන්න පිරිත් ටිකක් අහන්න සලස්වන්න කියල වෛද්‍යවරය අර තරුණයට කියල. ඒක කියපු ගමන් අර තරුණය වාට්ටුවෙන් නික්මිලා විනාඩි 20ට විතර පස්සෙ හාමුදුරු දෙනමක් වඩම්මල ඒ ආච්චිට ඇහෙන්න පිරිත් කියල. පිරිත් අහන ගමන්ම ඒ ආච්චි අවසන් හුස්ම හෙලල තියෙනව.


තමන්ගෙ අම්මට මෙහෙම සලකපු දරුවෙක්ට ඒ පින හොඳටම ඇති කියල තමයි පිස්සට නම් හිතුනෙ. වර්තමාන සමාජයෙ බොහොම කලාතුරකින් අහන්න ලැබෙන සිදුවීමක් නිසා තමයි පිස්සට මේක දාන්න හිතුනෙ.ඔය කතාව අම්ම කියද්දි පිස්සට අතුරු ප්‍රශ්න ආව ඒව මේකෙ දැම්මෙ නෑ.එහෙනම් අලුත් පෝස්ට් එකකින් අපි ආපහු මුණගැහෙමු.

Tuesday, March 13, 2012

ස්වර්ණවාහිනියේ කුජීත වැඩ

කාලෙකින් දාන්න දෙයක් ලැබුනෙ නැති නිසා ඊයෙ හොඳ එකක් ලැබුන දාන්න. ඊයෙ රෑ 8 ඉඳල පිස්සලගෙ ඉස්කෝලෙ උදවිය ලේ රත් කරගෙන ඉන්නෙ.මොකද ඊයෙ රෑ ස්වර්ණවාහිනියෙ දවසේ වැරැද්දට පාදක වුන සිදුවීම පිස්සලගෙ ඉස්කෝලෙට සම්බන්ධ නිසා.

බීමතින් හැසිරුන පුද්ගලයෙක් ගාලු ක්‍රීඩාංගනයේ තාප්පෙට සවි කරපු යකඩ කූරු නවන දර්ශනයක් තමයි ඊයේ දවසේ වැරැද්ද. මාර්තු කියන්නෙ ලංකාවෙ ගොඩක් පාසල් වල බිග් මැච් ගහන කාලෙ.

 ගොඩක් පාසල් වල ආදි ශිෂ්‍යයො ඔය මැච් එක බලන්න එන්නෙ පොඩ්ඩක් සෙට් වෙලා. ඔවුන් එමඟින් පාසල් යන ළමයින්ට වැරදි ආදර්ශයකුත් දෙනව. ඊයෙ පිස්සලගෙ පාසලෙ ආදි ශිෂ්‍යයත් කරපු වැරැද්ද නිවැරදි කිරීමේ කිසිම අවශ්‍යතාවයක් අපේ පාසලට නෑ.

 ඒත් ස්වර්ණවාහිනිය ඒ පුවත ප්‍රචාරය කරපු විදිය ගැන නම් කිසි සේත් සෑහීමකට පත් වෙන්න බෑ. ඊට වඩා බොහෝ වැරදි සිදුවීම් මේ කාලෙ සිද්ධ වුනා. උදාහරනයක් වශයෙන් කොළඹ ප්‍රධාන පාසල් වල සිසුන් බාලිකා පාසල් වලට පැනල කරපු සෙල්ලම් පෙන්වා දෙන්න පුලුවන්.

 නමුත් මේ සිද්ධියම දාන්න තරම් හේතු වෙච්ච කාරනේ හිතාගන්න අමාරුයි. ස්වර්ණවාහිනියට news හොයාගන්න බැරි තරම්ම බන්කොලොත් වෙච්ච ස්වභාවයක් තමයි මේ මඟින් ගොඩක් දුරට පැහැදිලි වෙන්නෙ. අනික ඒ වෙලාවෙ පිස්සලගෙ පාසලේ ධජයත් නමත් 2ම කියමින් තමයි එම පුවත විකාශනය කරේ.

 අඩුමතරමින් ගාල්ලෙ ප්‍රධාන පාසලක කියල කිව්ව නම් කමක් නෑ. ලංකාවෙ 8ට ගොඩක් මිනිස්සු බලලන්නෙ ස්වර්ණවාහිනියෙ පුවත් ඒ නිසා මීට වඩා වගකීමකින් මේ පුවත් විකාශනය වෙනව නම් හොඳයි කියල තමයි අපි කාටත් හිතෙන්නෙ.

 අනික මේ සිදුවීමට පස්සෙ පාසල් 2 අතර යම්කිසි නොහොඳ නෝක්කාඩුකම් ඇති වුනොත් ඔය පුවත් විකාශනය කරපු මහත්වරු ඒ වගකීම භාරගන්නෙ නෑ. ලංකාවෙ මාධ්‍ය සදාචාරය හොඳටම පිරිහිලා කියන එක දැන් කාටකාටත් තේරුම් ගිහින් තියෙන කරුනක්.






ඔය තියෙන්නෙත් ඉතින් දවසේ වැරදි තමයි.

Tuesday, February 28, 2012

කෙල්ලෙක් බැලීමට ගොස් ගුටි කෑම........






පිස්සාගේ තවත් පාසල් රස කතාවක් කියන්න තමයි මේ හදන්නෙ. OL කරද්දි 10 වසරෙ හිටිය පන්තියම තමයි 11ට දැම්මෙත් පංති භාර ගුරුවරයත් වෙනස් වුණේ නෑ. පිස්සල 10 වසරෙ ඉන්න පන්තිය ජනප්‍රිය වෙලා තිබ්බෙ "වලේ පන්තිය" විදියට.


පිස්සලගෙ 10 වසරෙ තිබ්බ පන්ති 8න් ගන්නම දෙයක් නැති පන්තිය තමයි පිස්සලගෙ වලේ පන්තිය. පිස්සලගෙ පන්තිය තිබ්බෙ කඳු ගැටේක නිසා සමහර ගොඩනැඟිලි නිර්මාණය වෙලා තියෙන්නෙ භූමියේ පිහිටීම අනුව.


 අන්න ඒ වගේ නිර්මාණය කරපු ගොඩනැඟිල්ලක පහලම තට්ටුවෙ තමයි  පන්තිය තිබ්බෙ. දැන් ඉතින් කට්ටියට තේරෙනව ඇතිනෙ නම වැටෙන්න හේතුව. ඉතින් පන්තිය වටේ තියෙන ජනෙල් වලින් අවට පරිසරයෙ සිරි නරඹද්දි පේන්න තියෙන්නෙ ගස් කොළනුයි බොහොම පොඩියට පේන රේල් පාරයි විතරයි.


පිස්සලගෙ ඉස්කෝලෙ ඇතුලෙන් සහෝදර බාලිකාවකට යන පාර තිබ්බ නිසා ඒ පාරෙ යන කෙල්ලො බලන්න හැකියාවක් පිස්සලගෙ පන්තියෙ කොල්ලොන්ට තිබ්බෙ නෑ. ඉතින් උදේ පාන්දර ඉස්කෝලෙ එන කට්ටිය එක්ක එකතු වෙලා ඒ පාරෙ යන කෙල්ලොන්ට විහිලු කරනව.


ඔය කිව්වට ඉතින් විනාඩි 15ට විතර පාරක් තමයි එහෙමවත් ලස්සනයි කියල කෙල්ලෙක් යන්නෙ ඒ පාරෙ. ඉතින් පාසල් ආරම්භ වෙන්න බෙල් එක ගැහුවම පිස්සල පන්තියට යනව. අනික් පන්ති වල උන්ට පන්තියෙ හිටියත් පාරෙ යන කෙල්ලො බලන්න හැකියාව තිබ්බ.


 ඒත් ගොඩනැඟිල්ල හරිම අසාධාරණ විදියට නිර්මාණය වෙලා තිබ්බ නිසා අපි උදේ වරුවෙ විතරක් නරඹන ජවනිකා වලින් සෑහීමකට පත් වෙනව. හැබැයි මේ පිහිටීම වැස්ස දවසට පුදුම උපකාරයක් වුණා. මොකද කියනව නම් වැහල වැහල කන්ද දිගේ ගලාගෙන එන වතුරපාරක්  පිස්සලගෙ පන්තියට බහින පඩිපෙළ ගාවින් ඇවිල්ල වැටෙනව.


හදිසියෙවත් ඉස්කෝලෙ පටන් ගන්න ඉස්සෙල්ල වහිනව නම් පිස්ස ඇතුලු පන්තියෙ ක්‍රියාකාරී සාමාජික පිරිස බාස්කට් අරන් ඇවිල්ල ඒ වැටෙන වතුර එකතු කරල පන්තියට දානව.  එහෙම පන්තිය ඇතුලට වතුර දාන එක බෙල් එක ගහනකම් නොනවත්වාම සිදු කරනව.


 පන්තිභාර මිස් එනවද කියල බලන්න උඩ කොල්ලො ටිකක් තියල තමයි මේ වැඩේ කරන්නෙ. ශිෂ්‍ය නායකයෙක් එනව නම් වැඩේ තාවකාලිකව අත් හිටුවනව. මිස් එනව නම් වැඩේ නතර කරනව. කොහොම හරි නොසැලකිය හැකි වතුර පාරක් ආධාරයෙන් සැලකිය යුතු තත්වෙකට පන්තිය පත් කරගන්නව.


ඊට පස්සෙ මිසුත් ආවම වැස්සට බැන බැන කොල්ලො ටික පන්තිය සුද්ද කරන්න ගන්නව. මිසුත් පන්තිය සුද්ද කරල ඉවර වුනාම කියන්න කියල ස්ටාෆ් රූම් එකට යනව. ඊට පස්සෙ තමයි අපේ ආතල් පටන් ගන්නෙ. ඩෙස් හෝදනවයි පුටු හෝදනවයි එක කෙළියයි පන්තිය ඇතුලෙ.


මේ හැමදේම සිද්ධ කරන්නෙ උඩ ඔත්තු බලන්න කොල්ලෙක් තියල තමයි. සර් කෙනෙක් පන්තිය පැත්තට එනව නම් බොහොම උනන්දුවෙන් පන්තිය සුද්ද කරනව. කොහොම හරි පන්තිය හෝදන්න වතුර අරන් එන තැනට යන්න ටික දුරක් යන්න තියෙනව. වතුර ගේන්න 3ක් යනව.


 ඒකට කොල්ලො මාරුවෙන් මාරුවට තමයි යන්නෙ. කොහොම හරි පිස්ස ඇතුලු තව කොල්ලො 2ක්ගෙ වාරෙත් ආව. දැන් අපි 3නා කයියක් දාගෙන ටැප් එක පැත්තට යද්දි පට්ට ලස්සන අක්ක කෙනෙක් අර සහෝදර බාලිකා පාසලට යන්න එනව පිස්සගෙ ඇස් 2ට ඈත තියාම දැක ගන්න පුලුවන් වුනා.


ඉස්කෝලෙන් අස්වුන අලුත වගේ අක්ක කෙනෙක් කියල අපිට නිගමනයකට එන්න පුලුවන් වුනේ පිස්ස එක්ක ගියපු එක යාලුවෙක් දුන්න තොරතුරකට අනුව. මොක්කුද 3නා වගේ ඒ අක්කගේ සිරියත් නරඹල බාස්කට් වලට වතුර පුරවගෙන පන්තිය පැත්තට ආව.


කොහොමහරි ඔන්න පිස්ස එක්ක වතුර අරන් එන්න ගියපු යාලුවෙක්ටත් ඔත්තු බලන වාරෙ ආව. අපි පොරට කිව්වෙ රත්නෙ කියල. රත්නෙ එක පාරටම උඩ ඉදගෙන පිස්සයි වතුර ගේන්න ගියපු අනික් එකාගෙයි නම් කියල කෑගහල මෙන්න මෙහෙම කිව්ව.


 " ඒ මෙන්න බං අර කෑල්ල ආපහු එනෝ........" 


අපි 2ත් පඩිපෙල ගාව කයියක් දාගෙන පොඩි අයිස් පාරක් දාපු නිසා ඕක ඇහුනා. පන්තියෙ උන් ටික ඇතුලෙ හිටිය නිසා උන්ට ඒක ඇහුනෙ නෑ. ඕක අහල අපි 2ත් උඩට දුවගෙන ගියා. එතකොටම මෙන්න බොලේ අර අක්කත් වන වන ගියා එතනින්. ඊට සුලු මොහොතකට පස්සෙ මගෙයි රත්නෙගෙයි  අනිත් එකාගෙයි නම් කියල එහා පන්තියෙ සර් අඬගහනව අපි 3ට.වෙන කවුරුත් නෙවෙයි අපිට ගණන් උගන්නන ප්‍රියන්ත සර්. සර්ට වැඩේ මාට්ටු.


 අපි 2ත් ඉබි ගමනින් සර් ඉන්න තැනට ගියා.  ඒ පන්තියෙ කොල්ලොන්ට හිනා.


 "නැට්ටට කිරි එරෙන්න ඉස්සෙල්ල මදන විසේ ගැහුවද ඕයි........" 


චටස් පටස් චටස් පටස් 3ටම කම්බුල් පාරවල් 2 බැගින් දුන්න. ඊළඟ විධානය දණ ගහන්න ලැබුන.

Thursday, February 16, 2012

"SIGIRIYA IS A BIG ROCK" කිව්වලු



කට්ටියට මතක ඇතිනෙ මගේ පළමු පෝස්ට් එක.මෙතනින් යන්නකො.  ඒ සිදුවීම වගේම මේකත් OL කාලෙ වුන රසවත් සිද්ධියක්. මේ කතාවට සම්බන්ධ ඩයල් එක කාලෙ අපේ ඉස්කෝලෙට අලුතෙන් ආව පොරක්.


 මිනිහගෙ ගම් තුලාන පොළොන්නරුව. අපි ඌට දාපු කාඩ් එකත් "පොළොන්නරුව". මිනිහ ආපුම දවසෙ අපි උගේ සපත්තු 2 ගලවල ඒක ලේස් 2න් ගැට ගහල බෙල්ලෙ දාගෙන ඩෙස් එක උඩ නැගල සින්දුවක් කියන්න කිව්ව. මූත් කියන පරක්කුව විතරයි ඩෙස් එක උඩ නැගල කිව්වනෙ සින්දුවක්.


ඕක එහා පන්තියේ සර්ට ඇහිල බුවා ඇවිල්ල පන්ති නායකයට කන පැලෙන්න 2ක් දීල ගියා. අපිට හෙන අප්සට් ඌ නිකන් ගුටි කාපු එකට. මොනා වුනත් උගේ හොඳකම කියන්නෙ පාව දුන්නෙ නෑ එකෙක්වත්.


අපිට පොළොන්නරුව ගැන මාර පැහැදීමක් ආව පඩ ලයින් නැතුව කිව්ව දේ කරපු නිසා. මේකයි කතාව. ඉංග්‍රීසි කියන්නෙ අපිට තිබ්බ අජූවම විෂයක් ඒ දවස් වල.


හැබැයි ඉංග්‍රීසි මිස් පන්තියට එනවට නම් කොල්ලොන්ගෙ අකමැත්තක් තිබ්බෙ නෑ. මොකද මිස් මාර ලස්සනයි. මරු ෆිගර් එක. ඔන්න පිස්ස නම් ඕවට අල්ල ගන්න එපා හරිය.


පිට පැන්නනෙ ආපහු. පොළොන්නරුව ඇවිල්ල සතියකට විතර පස්සෙ අපේ වාර විභාගෙ තිබ්බ. ඔන්න ඉතින් ඒක ඉවර වෙලා අපේ ඉංග්‍රීසි මිස් ඇවිල්ල අපිට පේපර් බෙදුව.


පේපර් ටික බෙදා ගත්තට පස්සෙ මිස් පේපර් එකක් අතේ තියාගෙන ඉස්සරහට ආව. අපි හිතුව හොඳම මීටරයකගෙ පේපර් එක අරන් ඇවිල්ල කියන්න හදනව කියල. මිස් ඉස්සරහට ඇවිත් මං මෙයාගෙ රචනාව කියවන්නම් කිව්ව.


දැන් කොල්ලො ටිකත් දත කට මැදගෙන ඕක අහන්න සෙට් වුනා. අපිට දීල තිබ්බ රචනාව සීගිරිය.


Sigiriya is a big rock.

There are beautiful Apsarawo. 

There are many Debaru.

This Debaru going to the Apsarawo.

In the rock there is a Pokuna.

This to Pokuna water going under.

ඔන්න ඕකයි බුවාගෙ රචනාව.ඒ වෙලාවෙ කොල්ලොන්ට මැරෙන්න හිනා. මිස් අන්තිමට නම කියෙව්වම පොළොන්නරුව ගොබ්බ හිනාවක් දාගෙන පේපර් එක අරගෙන ආව. 

දැන් නම් බුවා කොළඹ ජොබක් කරනව. මේ ළඟදි දවසක මුණ ගැහුන නිසා මට මේ කතාව මතක් වුනේ. වෙලාවට ඌ බ්ලොග් බලන්නෙ නැත්තෙ.



Tuesday, February 14, 2012

ආදරවන්තයන්ගේ ආදර සටන

අද උදේම පෝස්ට් එක දාන්න හිටියෙ. කොහෙද අපේ ගෝලයො ඉන්දියාව එක්ක මැච් එකක් දාගෙන නිසා ඒක බැලුව උදේ ඉඳලම. ඒකෙ විස්තර කතා කරල වැඩක් නෑනෙ ඉතින්.අද ආදරවන්තයන්ගෙ දවසෙ මේ ලියන්න යන්නෙ ආදරවන්තයන්ගෙ සටනක් ගැන.

කට්ටිය බලාවි අනේ හත්තිලව්වෙ ඒ මොකක්ද ඒ වින්නැහිය කියල. අපේ ජාතික ක්‍රීඩාව නොවුනට ක්‍රිකට් අපේ කට්ටියගෙ බොක්කට වැදුන ක්‍රීඩාවක්නෙ.හැම අවුරුද්දකම මාර්තු කියන්නෙ ලංකාවෙ බොහොමයක් පාසැල් වල ක්‍රිකට් වසන්තෙ ලබන කාලෙ නොවැ.

අපේ බ්ලොග් ලියන කට්ටියත් ඕවට සූදානම් වෙනව ඇතිනෙ.රටවල් වල ඉන්න උදවිය නම් දුක් වෙනවත් ඇති.ඕකෙ වෙන සිද්ධි ලියන්න ගියොත් මට මාසයක් විතර ඒව ලියන්න වෙන නිසා මේ කතාව පටං ගන්නම්.අර මම මුලින් සඳහන් කරපු ආදරවන්තයන්ගෙ සටන කිව්වෙ ගාල්ලෙ ප්‍රධාන බාලක පාසල් 2ක් අතරෙ වාර්ෂිකව පවත්වන සුහද ක්‍රිකට් තරඟයට.

නම් වලින් කිව්වොත් රිච්මන්ඩ් විදුහල සහ මහින්ද විදුහල අතර තමයි මේක පැවැත්වෙන්නෙ.මේ සැරේ පවත්වන්නෙ කීවෙනි එකද කියල නම් පිස්සට මතක නෑ.ඕක තියන්න ඉස්සෙල්ල කෙරෙන වැඩ රාජකාරි බොහොමයක් තියෙනව.

මේ පෝස්ට් එකෙන් කියන්නෙ පළමු රාජකාරිය ගැන.ඉතිරි ඒව ගැනත් ලියන්න පිස්ස බලාපොරොත්තු වෙනව හැබැයි අද නෙවෙයි හොඳේ.ඉස්සෙල්ලම ඉතින් සුන්දර ගාලු නගරෙ පාසල් 2ම කොඩිය දානව. ඕකට  කියන්නෙ 1st Flag කියල.මේ වැඩේට සහභාගි වෙන්නෙ පාසලේ ඉන්න ශිෂ්‍ය නායකයො ටික.

 පිස්සගෙ ඉස්කෝලෙ ඔය කටයුත්ත සිද්ධ වුනේ ගිය 9දා, මහින්දෙ 8දා.9දා අපේ උන් මොන ලෝකෙ හිටියත් ඔය වැඩේට සෙට් වෙනව.පිස්සටත් හතරවටින් කෝල් එනව යන්නෙ කීයටද අහල.පිස්සත් කට්ටිය එක්ක කතා කරගෙන හරියටම හවස් යාමෙ 5ට ගාලු නගරෙට සැපත් වුනා.පිස්ස දැක්කෙ ඔන්න ඕව තමයි.

ලේසි නෑ වැඩේ පේනවනෙ කන කට්ට.......


කට්ටිය නොඉවසිල්ලෙන්.....














හුරේ ජය වේවා.....!!!





කොහොමද බැබලි බැබලි තියෙන හැටි.......





ගිණිකෙළිත් තිබුන බොල....





අර ඈත නටන පිස්සව දැක්කද?





ආදර්ශමත් පාසලක ආදර්ශමත් කොල්ලො........කාටද ආඩම්බර....... 




පිංතූර ඉල්ල ගත්තෙ පිස්සගෙ යාලුවෙක්ගෙන්. ඔක්කොම දාන එක හරි නෑනෙ. ඊළඟ පැවැත්වෙන කටයුත්තත් මේ විදියටම පෝස්ට් එකකින් දාන්නම්.





 








Monday, February 13, 2012

ඔබේ පුංචි උදව්වෙන් ජීවිතයක් බේරගන්න....



ජීවත් වෙන්න අපි හැමෝම ආසයි...  ඒ ජීවිතේ විදවන්න නැතුව විදින්නයි මේ හැමදේම කරන්නෙ.. ඒත් අපි නොහිතපු විදියට කරදර බාදා එන පුලුවන්... ඒ දේවල් නිසා අපිට පේ මේ ජීවිතේ විදවන්න වෙන්න පුලුවන්...

ඒ වගේ විදවන්න වෙන එක දෙයක් තමයි ලෙඩ රෝග හැදෙන එක... මාරාන්තික ලෙඩකින් අපි ජීවිතේ අපි හිතපු පතපු දේවල් ඔක්කොම කනපිට ගහන්න පුලුවන්...

අනාගතේ ගැන අපි මවපු හීන.. අපි ආදරේ කරන අය... අපේ අතින් ඉටුවෙන්න තියෙන යුතුකම්.. මේ හැමදේම දාල අපිට  යන්න වෙන්න පුලුවන් මේ ලෙඩරෝග නිසා...

පිලිකාව කියන්නෙත් ඒවගේ මාරාන්තික ලෙඩක... පිලිකාව නිසා අපි අතරින් අකාලෙ වෙන්වෙලා ගිය එක්කෙනෙක් හෝ ගැන අපි අහල තියෙනවා... ඒ තරමට පිලිකා මාරයා දරුණුයි...

ඒත් දැන් වෛද්‍ය තාක්ෂනෙ දිවුණු නිසා මේ රුදුරු ලෙඩ රෝග බොහෝමයක් පරාජ කරන්න පුලුවන්... ඒත් අව‍ශ්‍ය එක දෙයක් තියෙනව ඒ.. මුදල්...

හැමෝටම ඒවගේ අවස්තාවකට මුහුණ දෙන්න ප්‍රමානවත් ආර්ථික ශක්තියක නැති වෙන්න පුලුවන්

අන්න ඒවගේ අවස්ථාවකට මුහුණදීල ඉන්න සහෝදරියක් තමයි මදුෂාණි

ඇයගෙ ජීවිතේ නැවත් ලබාගන්න අවශ්‍ය වන්නෙ රුපියල් දෙලක්ෂ විසිදාහක් වගේ මුදලක්....


අපේ ආදරනීයෙකුගෙ ජීවිතේ වටිනාමකම ඇහුවොතින් ඔබට මුදල් වලින් ඒක මනින්න පුලුවන්ද... ??

ඇයත් ඒ වගේම  ආදරණීය හෝදරියක් , යෙහෙලියක් , දියණියක් ......

ඒත් ඇයගෙ ජීවිතය මිල වෙලා තියෙන්නෙ දෙලක්ෂ විසිදාහක් වගේ මුදලකට..රු 100ක් බැගින් පරිත්‍යාග කලත්  2200 දෙනෙක්ට මේ අහිංසක ජීවිතය බේරාගන්න පුලුවන්...

අපි පරිත්‍යාග කරන සුළු මුදලට ජීවිතයක් බේරගන්න වගේම ගොඩක් දෙනෙක්ගෙ ඇස්වල කදුළුත් නවත්තන්න පුලුවන්...

ඒවගේම ඒ බේරාගනුපු ජීවිතය හිනාවෙන සැරයක් සැරයක් පාසා අපිටත් හිනාවෙන්න පුලුවන්..

ඇගේ රෝගී තත්තය පිලිබද වාර්ථා හ වැඩිදුර තොරතුරු දේව්ගේ අඩවියෙන් බලාගන්න පුලුවන්...

ඔබටත් ඇයගේ ජීවිතය බේරගන්න හැකි පමණින් උදවු දෙන්න මෙන්න මේ විදිවලින් පුලුවන්....

නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී

ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..

·බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
o ගිණූම් අංකය : 1-0121-80-0775-6

· වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)
o Receiver Name : P.K.L.THILINI MADUSHANI
o Expected payout location : Karapitiya , Galle
o Province : Southern
මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය(cooperative.nts@gmail.com) ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

වැඩුදුර තොරතුරු

ඇයගේ ලිපිනය : කජු ගහ වත්ත , ගනේ ගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති


තව දුරටත් මේ නැගනියගේ රොගි තත්වය හා ව්ස්තර පිලිබදවත් ඔබේ පරිතයාගයන් පිලිබදවත් ෆේස් බුක් මෙම පි‍ටුව හා සම්බන්ද වි ලබා ගත් හැක ( http://www.facebook.com/cooperative.nts )


Or more details :-

M.M.Nishantha
Skype : m.m.nishantha
Gtalk: m.m.nishantha
Facebook:<http://www.facebook.com/M.M.Nishantha
Blog: http://nursinglanka.blogspot.com/



මේ පොස්ට් එක ඔබේ බ්ලොග් වලත් පල කර මේ නැගනියගේ ජිවිතය බේරා ගැනිමට ගන්නා මේ උත්සහයට දායක වන්න.. 


සම්පූර්ණ උපුටා ගැනීම  පොඩිමෑන් ගේ ලිපිය..





Thursday, February 2, 2012

වෙඩි කෑම






මේ කියන සිදුවීමත් OL කාලෙ වෙච්ච දෙයක්. OL කරද්දි මම අපේ ගෙවල් ගාව ගණිතය පංතියකට ගියා. ඒකට මාත් එක්ක තව යාලුවෙකුත් ගියා.


අපි 2 විතරයි කොල්ලො 2ට හිටියෙ. කෙල්ලො 6ක් හිටියා. ඒ ඔක්කොම පංති කරපු මිස්ගෙ ඉස්කෝලෙ උදවිය. මිස්ට  පුතෙක් හිටිය අවුරුදු 5ක විතර ඌ කරොත් කරේ ඇට්ටර වැඩක්ම තමයි.


එදා පංති ගියපු දවසෙ බුවා වතුර විදින තුවක්කුවක් අරගෙන මෙලෝ සිහියක් නැතුව වතුර විදිනව. මූ ඒකත් අරගෙන බල්ල ඉන්න කූඩුව ගාවට ගිහින් බල්ලට වතුර විදිනව ඌ ඔරොප්පු වෙලා බෙරිහන් දෙන්න ගත්තම මිස් කියල දෙන ගානක් ඇහෙන්නෙත් නෑ.


මිස් කොච්චර එපා කිව්වත් මිනිහ නෙවෙයි කනකට ගන්නෙ. කොහොම හරි මෑන්ට වැඩේ එපා වෙලා ඒක නතර කරා. මිසුත් අපිට ගණං වගයක් හදන්න දීල ගේ ඇතුලට ගියා. එදා මමයි මගේ යාලුවයි පංතියට අතුල් වෙද්දි කෙල්ලො ටික අපි 2ට කින්ඩියට වගේ හිනා වුනා.


අපි 2ට සීන් එක හිතා ගන්න බැරි වුනා ඒත් අපි 2නා උන්ට කියවන්න ගියේ නෑ. අපි ලැජ්ජ බයට හැදුන කොල්ලොනෙ ඉතින්. දැන් ඉතින් ඒ තරහ නැති කර ගන්නත් විදියක් තියෙන්න ඕනනෙ. මට මතක් වුන පොඩි එකාගෙ වතුර විදින තුවක්කුව.


මම යාලුවටත් කිව්ව අපි පොඩි එකාට කියල කෙල්ලොන්ට වතුර ගහමු කියල. මම පොඩි එකාට කතා කරල වැඩේ කිව්ව බුවාගෙ කට කනේ. අපි 2න වාඩි වෙන්නෙ කෙල්ලොන්ගෙ පිටි පස්සෙ නිසා උන්ට අපි කරන එවා පේන්නෙ නෑ.


මේක   වතුර පුරවගෙන ඇවිත් මෙලෝ සිහියක් නැතුව වතුර විදින්න ගත්ත. කෙල්ලොන්ගෙ කෑගැහිල්ල දැකල අපි 2ටත් හෙන ආතල්. කෙල්ලොන්ගෙ සද්දෙ මිස්ට ඇහිල මිසුත් ආවා.


මිස් මුගේ තුවක්කුව ගන්න ආව. එතකොටම පොඩි එකා දුවගෙන අපි 2න ගාවට ඇවිල්ල


"අයියෙ ඒ වතුර ටික ඉවරයි.....ආපහු පුරවන් ඇවිල්ල වෙඩි තියන්නද?"


කියල ඇහුව. මිස් එක්කම කෙල්ලො 6 දෙනා එක පාරටම බැලුවෙ නැතෑ අපි 2නගෙ මූණු දිහා. අපි 2න ඉතින්......................................................